වරදට දඬුවම
“රුපියල් පන්දාහක් දඩ ගහලා කිව්වා?”
“ඔවු අනේ… දවස් පහක පඩිය එතනම! පවු අප්පා”
“ඒක ඇත්ත තමා… හැබැයි දැන් කාලේ වැරදි කරලා බේරෙන්ට බෑ… මොකද්ද මිනිහා කරා කිව්වේ?”
“ජයන්තී ඒක කිව්වෙ නෑ… මට කිව්වේ වත්තේ වැඩ කරපු චමින්දට දඩයක් ගහලා කියලා විතරයි. පවු… පොඩිඋන් දෙන්නෙකුත් ඉන්නවලු…”
අම්මට හරියට හිතට අමාරුයි වගේ. කට හඬෙන්ම ඒක මට දැනෙනවා. ඒ වගේම සාමාන්යෙන් අම්මා මේ වගේ කනගාටුදායක කතා පටන්ගන්නෙ නෑ ඔපිසර නිලමේ ඇවිත් ඉන්න දවසක. ඒ නිසා මමත් වැඩිය ප්රශ්න ඇහුවෙ නෑ. ඔපිසර නිලමේ දක්ෂ ලෙස කතාව වෙන පැත්තකට හැරෙව්වා.
“අමිතගෙ ඔය යාළු ජයන්තී ඇයි ඔය වගේ කතාවක් ඔෆිස් එකේ අයට කියන්නේ?”
“… මං හිතන්නේ අර පත්තරේ තිබුන ‘වරදට ඔබින ඳඩුවම’ ආටිකල් එක කියවලා තමා ඔය කතාව පටන්ගත්තේ”
ඔපිසර නිලමෙට පුළුවන් ඕනම කතාවක් එයාට ඕන පැත්තට හරව ගන්න. ඒ සංවාදයක් පාලනය කරන්නවත් සීමා කරන්නවත් නෙවෙයි. ඔපිසර නිලමෙගෙ මොලේ විදුලි ආඳෝ පිරුන බාල්දියක් වගේ කියලා මට වෙලාවකට හිතෙනවා. හැම අතින්ම විදුලි කොටනවා වගේ අලුත් අදහස් මොලේ ඇතුලේ එහෙන් මෙහෙන් පනිනවා. පටන්ගන්න කතාවක් කොහෙන් කෙලවර වෙයිද කියන්න අමාරුයි. හැබැයි කතා නම් අනිවාර්යෙන්ම බුද්ධිමත්.
ඔපිසර නිලමේ ආවේ හතරට විතර වුනත් අපි මේ වගේ සාකච්ඡා පටන් ගන්නේ හවස තේ බොන වෙලාවේ. සමහරවිට රැ කෑමෙන් පස්සෙත් අපි සාකච්ඡාවල යෙදුනට ඔපිසර නිලමෙගෙ අදහස් අහගන්න හොඳම වෙලාව මේක. උන්දෑ ආ අනික් දවස්වල වගේම සාලේ තේ බොන්න වාඩිවුනේ අම්මයි තාත්තයි ඔපිසර නිලමෙයි හැර මම විතරයි.
“මාත් දැක්කා ඒ ආටිකල් එක… ඒකේ කිසිම වටිනාකමක් මම නම් දැක්කෙ නෑ!”
“එහෙම කියන්නේ කොහොමද? වරදට දඬුවම ඔබින්නේ නැත්තං යුක්තිය කෝ? සාධාරණත්වය කෝ?”
ඔපිසර නිලමේ හිනාවුනේ ටිකක් සතුටින්; තාත්තා සංවාදය ඔපිසර නිලමෙට ඕනෑ තැනට ගෙනා බව දැකලා වගේ.
“සෙනරත්ගෙ ප්රශ්නේ වැදගත්. සමාජයකට යුක්තිය, සාධාරණත්වය වගේ දේ වැදගත්. ශිෂ්ටාචාර ගොඩනැගෙන්නේ ඒ උඩ…”
ඔපිසර නිලමේ ආයෙත් හිනා මුහුණක් පෙන්නුවා.
“…එතකොට තව ප්රශ්නයක් ඉස්සරහට එනවා නේද? දඬුවම නියම වෙන්නේ වරද අනුව විතරම නම් ඒක සාධාරණද?”
කෙලින්ම ‘ඔවු’ නොකියා අම්මයි තාත්තයි ටිකක් කල්පනා කළා. මට එහෙම හික්මීමක් නෑ.
“වරදේ හැටියට දඬුවම දෙනවා කියන්නේ නීතිය සේරටම එකයි - ලොක්කෙක් වුනත් පුංචෙක් වුනත් නීතිය ඉස්සරහ එක සමානයි!”
අපෙ ගුරුවරයෙක් කියපු දෙයක් මම ඒ කිව්වේ.
“උපුල් ඒක ඇත්තටම විශ්වාස කරනවද?”
“… අ… ඔවු…”
“ඇයි?”
“… අ… අපි සේරම එක වගේ… ලංකාවේ එක මට්ටමේ කොටස් කාරයෝ!”
ඒ අපෙ ගුරුවරයගෙ තවත් කියමනක්. අපරාදේ මම ඒකේ තේරුම අහගත්තෙ නැත්තේ. ඔපිසර නිලමෙට දැනෙන්න ඇති මම මගෙ තර්කයේ අන්තිම කොනට ඇවිත් ඇති බව.
“අපි සේරම පිළිගන්න ඕනෑ ලංකාවේ එක මට්ටමේ කොටස් කාරයෝ වීම උත්කෘෂ්ට අරමුණක් බව … හඃ! … කොහොමද මගෙ වචන ටික? … මම ඔය ‘උත්කෘෂ්ට’ කියන වචනේ කවදා හරි පාවිච්චි කරනවා කියලා හිටියේ! ඒක ඇත්තටම හරිම ගාම්බීර වචනේ නේද? - උත්කෘෂ්ට! … උත්කෲෂ්ෂ්ෂ්ඨ… ෂා! - ඒක නියම උත්කෘෂ්ට වචනයක්!... සොරි… සොරි…. ඒ වචනේ හින්දා කියන්න ගිය දේත් අමතකවුනා!”
අපි සේරටම හිනා ගියා. කතාව හරි පාරට හැරෙව්වේ අම්මා.
“අපි ලංකාවේ එක මට්ටමේ කොටස් කාරයෝ කියලා ඔපිසර නිලමේ විශ්වාස කරන්නෙ නෑ වගේ”
“ආ… රයිට්… කොටස් කාරයෝ… ඒ කියන්නේ අයිති කාරයෝ - හවුල් අයිති කාරයෝ නේද?”
තාත්තට වැටහෙනවා ඔපිසර නිලමේ උගුලක් අටවන්නේ කියලා.
“ඔවු පොතේ විදිහට…”
“සෙනරත් හරියටම හරි… පොතේ හැටියට වැඩ වෙනවානම් අපි ලංකාවේ සම අයිති කාරයෝ… නමුත් අර අපෙ එහා ගෙදර වීරසේකරලට කුඹුරු යායක්ම තියෙනවා; මට තියෙන්නේ පර්චස් විස්ස විතරයි. එතන වැඩි සමාන මට්ටමේ අයිතිකාර කමක් මට පෙනෙන්නෙ නෑ!”
“ඒක මෙතෙන්ට අදාළ වෙන්නේ කොහොමද? ඔය කියන වීරසේකරලා ඉස්සර ඉඳන් සල්ලි කාරයෝ වෙන්න පුළුවන්… නැත්තං මහන්සියෙන් මෑත උපයාගත්ත දේපොල වෙන්න පුළුවන්… ලොතරැයියක් දිනුවද දන්නෙත් නෑ!”
“සෙනරත් කියන්නේ, ඒ ක්රමවලින් වත්කම ලබාගත්තා නම් වීරසේකරලා ලංකාවේ අපිට වඩා ලොකු කොටස් කාරයෝ වුනාට කමක් නෑ කියලද?”
“ඔය කියන් ජාතියේ ‘සමාන අයිතිය’ එක එක්කෙනාගෙ වත්කමෙන්ම මනින්න බෑ, මං හිතන්නේ…”
“එහෙනං අපි මොකද්ද පාවිච්චි කරන්නේ? ඉගෙනීම? වයස? උස? කතා කරන බාසාව? ආගම? … ශිෂ්ටත්වය? ඒ අන්තිම එක නම් මනින හැටි මම දන්නෙත් නෑ!”
අම්මා මේක ගැන ටිකක් හිතලා බලලා කතා කරේ.
“උපුල් කිව්වේ නීතිය ඉස්සරහ අපි සමාන කොටස් කාරයෝ කියලා, වත්කම, ආගම වගේ අනික් දේ මොනවා වුනත්… ඔපිසර නිලමේ විහිළුවට වයස, උස එහෙමත් මෙතෙන්ට ඇදගත්තට ඒවා නීතිය ඉස්සරහ සමානකම් කතාවට කොහොමටත් අදාළ නෑ කියලා අපි ඔක්කොම දන්නවා… පොඩ්ඩකට හිතමු … අ… උදාහරනෙට සිරිසේන කියලා මිනිහෙක් ගමු… සිරිසේන හොරෙන් පොල් කඩලා මාස තුනකට හිරේ ගියේ මිනිහා තිස් හැවිරිදි අඩි පහයි අඟල් අටක් උස බෞද්ධයෙක් නිසා කිව්වොත් මිනිස්සු මොනවා කියයිද?”
ඔපිසර් නිලමේ හයියෙන් හිනාවුනා.
“හොඳ වැඩේ ඕකට - ඌට පොල් ඉඩමකුත් තියෙනවා! මං නොදන්න සිරිසේනයෙක් යෑ … සොරි අමිතා… මං බොරුවට කිව්වේ - මං දන්න ඇති සිරිසේනයෙක් නෑ! අපි ඒ තරම් මෝඩ විදිහට වරද/දඬුවම දිහා බලන්නෙත් නෑ නේද?”
ඊලඟට ආ කෙටි නිහඬ තාවය ඔපිසර නිලමේ හිතලා හදාගත්ත එකක්.
“… හැබැයි කොහොම බැලුවත් අපි ලංකාවේ සම කොටස් කාරයෝ නම් නෙවෙයි - උපුල් කියපු විදිහට නීතිය ඉදිරිපිටවත් සම කොටස් කාරයෝ නෙවෙයි!”
“කොහොමද එහෙම කියන්නේ? … පාරේ වැරදි පැත්තේ කාරෙක එලවලා අහුවුනොත් මට ලැබෙන දඬුවමමයි අගමැතිටත් ලැබෙන්නේ… අර සිරිසේනටත් ඒකමයි!”
ඒ සැරේ තාත්තා හිනාවුනා. නමුත් ඔපිසර නිලමේ හිනා නොවී ලොකු වැදගත් දෙයක් කියන්න අර අදිනවා. අපි සද්ද නැතුව තේ තොලගෑවා. තාත්තගෙ තර්කය හොල්ලන්න අමාරුයි - ඒක ඕනම කෙනෙකුට පැහැදිලිව පෙනෙනවා - ඔපිසර නිලමෙට හැර. උන්දෑ කතාව පටන් ගත්තේ අමුතු ප්රශ්නයකින්.
“ඇයි අපි රටවැසියන්ගෙ වැරදි වලට දඬුවම් දෙන්නේ?”
ඒ ප්රශ්නේ ලේසි එකක්. උත්තරේ විතරයි ටිකක් අමාරු.
‘ඒකයි රටේ නීතිය’ කිව්වොත් අහයි ‘ඇයි නීතිය එහෙම හැදුවේ?’ කියලා. යම් දෙයක් ‘වැරදියි’ කියන්නේ ඇයි කියලාවත් මම හරියටම දන්නෙ නෑ.
පාරේ වම් පැත්තෙන් එලවන නීතියේ වටිනාකම මට හිතාගන්න පුළුවන්. ඒ නීතිය නැතිනම් පාරේ ගමන මාර අවුලක් වෙනවා වගේම පාර පාවිච්චි කරන සේරටම භයානකයි. නමුත් ප්රසිද්ධ තැන්වල සිගරට් බීමට දඩ ගහන නීතිය තේරුම් ගන්න ඊට වඩා ටිකක් අමාරුයි. නීතියේ අරමුණ රට වැසියන්ගේ දුම් බීම නැවැත්වීම නම් සිගරට් නිෂ්පාදනයයි ආනයනයයි සම්පූර්ණෙන්ම නවත්තා දැමීම ඊට වඩා ඵලදායි වෙනවා. එතකොට වෙන කිසි දෙයක් නොකර, දඩ නොගහ, අපේ අරමුණ ඉෂ්ට වෙනවා. දුම් බීම, දුම්බීමෙන් සෑදෙන රෝග, ඉස්පිරිතාල ගතකිරීම්, මරණ, ආර්ථික පාඩු… මේ සියල්ල එක නීතියකින් අවසානයි. නමුත් අපි එහෙම කරන්නෙ නෑ. ඒ ඇයි කියලා මම ඊලඟට හිතුවා.
සමහරවිට අපෙ අරමුණ රටවැසියා දුම්බීමෙන් ගලවා ගැනීම නෙවෙයි වෙන්න ඇති. එහෙමත් නැත්නම් නීතිය හදන අවස්ථාවේ ඒ අරමුණට පිටතින් තව කාරණා දායක වෙනවා ඇති (දුම් කොල කර්මාන්තය, මිනිස් අයිතිවාසිකම්, බදු මුදල් වගේ). ඒ කියන්නේ රට වැසියන්ගෙ දුම් බීම කෙලින්ම නොනවත්වා දුම් බීම අඩු කිරීම අපේ අලුත් අරමුණ වෙනවා. නීති හදන්නේ ඒ අලුත් අරමුණට ගැලපෙන්න.
රටේ ඉන්ධන පාවිච්චිය අඩු කරන අරමුණකට එහෙමත් වෙනත් පිටස්තර කාරණා (ගමනා ගමන ප්ර්වාහන සේවා වගේ) සලකා බලලා තමා නීති හදන්නේ.
ඒ අනුව නීතියත් එයට හේතුවන අරමුණත් නියත නෑ - ‘තැනේ හැටියට ඇනේ ගහන’ අරමුණු/නීති අපිට තියෙන්නේ.
එහෙම හදන නීති වලට පටහැනිව ක්රියා කිරීමයි අපි ‘වරදක්’ කියන්නේ. ඒ අනුව, අපි වරදකට ‘දඬුවම්’ දෙන්නේ අපේ නීතියට හේතුවූ අරමුණ ඉටුකරගැනීමේ උදව්වට.
මම මගේ උත්තරේ සභාවට දිරිපත්කළේ ආඩම්බරෙන් - මටත් තර්කානුකූලව හිතන්න පුළුවන් කියලා. අම්මයි තාත්තයි විතරක් නෙවෙයි ඔපිසර නිලමෙත් හිනාවුනා. සමහරවිට දකින්න ඇති මම නළල රැලි ගස්සා ගෙන හිතනවා!
“වෙරි ගුඩ් උපුල්! … දැන් මට කියනවද ඒක සාරථකද කියලා - උපුල් හිතන විදිහට?”
“අපෝ නෑ… නැත්තං අපිට පොලිසි, උසාවි එහෙම ඕනම නැතිවෙයි!”
“ඒ කියන්නේ අපි පාවිච්චි කරන ක්රමයේ මොකක් හරි වැරැද්දක් ඇති නේද?”
මම විතරක් නෙවෙයි අම්මයි තාත්තයිත් ඒ සැරේ නිහඬව සිතිවිල්ලේ. මට හිතෙන විදිහට අපෙ ක්රමයේ වැරදි දෙකක් තියෙනවා. පලවෙනියට: රටවැසියන්ට අපෙ නීති නොකඩා ජීවත් වෙන්න බැරුව ඇති - ඒ කියන්නේ ඒ නීති රටට හරියන්නෙ නෑ. දෙවෙනියට: නීති කඩලා දඬුවම විඳින එක ලේසියි/ලාබයි නීතියට අනුව වැඩ කරනවට වඩා.
මේවගෙන් පලවෙනි එක වෙනස් කරන්න අමාරුයි - අලුත් නීති හදන්න පුළුවන් ආන්ඩුවකට. කොච්චර ඡන්දේ පාවිච්චි කරලා ආන්ඩු තෝරා ගත්තත් පත්වෙන ආන්ඩුව කරන්නේ ඒ අයට ඕන දේ. අපි කොයිතරම් ප්රාර්තනා කරත් ‘අපෙ ආන්ඩුව’ කරන්නේ අපිට ඕන දේ කියලා අපිටම විශ්වාසයක් නෑ ඒවා ඒ විදිහට වෙයි කියලා. අපි හිත හදාගන්නේ ‘අනික් උන් ආවනම් මීටත් වඩා නරකයි’ කියලා!
දෙවෙනි ක්රමය තමා ‘වරදට ඔබින ඳඩුවම’ පාවිච්චිය. දඬුවම ලිහිල් වැඩිනම් තමා නීතිය කඩකිරීම ලේසි. පාරේ වැරැදි පැත්තේ කාරෙක එලවනවට දඬුවම මාසෙකට හිරේ යෑම නම් මගෙ තාත්තවත්, අගමැතිවත් සිරිසේනවත් ආයෙ එහෙම කරන්නෙ නෑ!
ඒ සැරේ මම සභාවට මගේ මුළු තර්කයම ඉදිරිපත්කළේ අඩියෙන් අඩියට. අම්මගෙයි තාත්තගෙයි සතුටු මුහුණු මට හුඟක් වටිනවා; මම යමක් හරියට කළා කියලා. ඔපිසර නිලමෙගෙ හිනහව ටිකක් වෙනස් - ‘සතුට’ වෙනුවට ‘විනෝදය’ එහි පෙන්වුවේ.
“මගෙ ලොජික් වැරදිද?”
“නෑ උපුල්. ලොජික් හරියටම හරි. උපුල් තර්කය ගෙනාපු තැනට එන්න තමා මමත් උත්සාහ කරේ”
මම හිනාවුනේ සතුටින්, මගෙ තර්කයේ නිවරැදිකම ඔපිසර නිලමේ තහවුරු කළා. මම උන්දැම කතා කරන තුරු නිහඬවුනා.
“උපුල්ගෙ තර්කයට එකම දෙයයි මම එකතු කරන්න කැමති”
සභාව පාලනය කරන්න දක්ෂ ඔපිසර නිලමේ සන්සුන්ව තේ උගුරක් බීලා පරෙස්සමෙන් කෝප්පේ පීරිසිය උඩ තියලා ආයෙත් කෙලින්ම මා දිහා බැලුවා.
“අර අමිතා කියපු රුපියල් පන්දාහක් දඩ කාපු චමින්ද සමහරවිට ආයෙ ඒ වැරැද්ද කරන එකක් නෑ - දුප්පතෙක් කොහොමද දවස් පහක පඩියක් නැතිකරගන්නේ? රුපියල් පන්දාහ ලොකු ගණනක් - සමහරුන්ට! අර එහා ගෙදර වීරසේකරට - අර කුඹුරු යායක් අයිති වීරසේකරට - නම් පන්දාහ ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි. මිනිහා වෑන් එකට ඩීසල් ගහනවා ඇති ඒ ගානට - සමහරවිට අරක්කු වලට වියදම් කරනවා ඇති එහෙම ගානක්! චමින්ද කඩකරපු නීතිය වීරසේකරට දින පතා වුනත් කඩ කරන්න පුළුවන්!”
“ඒක එතනින් ඉවර නෑ! වීරසේකරට ඉන්නවා බලවත් ‘යාළුවෝ’ – සල්ලි තියෙන ඕනෑම කෙනෙකුට ඉන්නවා බලවත් යාළුවෝ. එතකොට සමහරවිට ඒ දඬුවෙමුත් මිනිහා බේරෙයි - සතයක්වත් නොගෙවා!”
ඔපිසර නිලමේ ආයෙත් තේ උගුරක් බිව්වා. මං හිතන්නේ ඒ අපිට ප්රශ්නයක් අහන්න ඉඩ දීලා. මම ඒ ඇම ගිල්ලේ කැමැත්තෙන්. ඔපිසර නිලමේ කතාවක් ප්රශ්නයකින් ඉවර කරන්නෙ නෑ - උන්දෑ ලඟ උත්තරයක් තියෙන බව මට විශ්වාසයි.
“මොකද්ද මේකට විසඳුම? විසඳුමක් තියෙනවද?”
“විසඳුම් ඕන තරම්; උපුල් කිව්වා වගේ දඬුවම උහුලන්න බැරි තරමට තද කිරීම එකක්. නමුත් ඒකත් වඩාම බලපාන්නේ දුප්පතුන්ට”
“මගෙ අදහස මේකයි… දඩුවම වරද කාරයාගෙන් වරද කාරයට වෙනස් වෙනවා. චමින්දටයි වීරසේකරටයි දඬුවම තමාගේ දවසක ආදායම, නැත්නම් මුළු වත්කමෙන් සියයට බින්දුවයි දසම පහක් කරොත් කොහොමද? මං මේ කියන්නේ චමින්ද කරපු වැරැද්ද මොකද්ද නොදැන. නමුත් සෑම නීතියටම, ඒ කියන්නේ ඒක කඩකරන වරදට, දඬුවම් මාලාවක් නියම වෙනවා. වරද කාරයගෙ වත්කම, ඉගෙනීම (නූගත් මිනිහෙක් වැරදි කරන්න පුළුවන් නොදැනුවත්කම නිසා), රැකියාව (වැරදි කරන ගුරුවරයෙක්, පොලිස්කාරයෙක්, දේශපාලකයෙක් වගේ කෙනෙකුගෙන් සමාජයට ඇති බලපෑම වැඩි තරමට දඬුවම තදයි), වයස… තේරෙනවා නේද මං හිතන විදිහ?”
හිස් තේ කෝප්පේ දිහා බලාගෙන කල්පනා කරනවා.
“… උපුල් කියපු දේකින් මට තව අදහසක් ආවා - මිනිස්සු හිරේ දානකොට තරාතිරම අනුව දඬුවම වෙනස් කරන්න ඕන නෑ - මාස තුනක් හිරේ ඉඳීම කාටත් එකයි. රස්සාවෙන් අස්කිරීම වගේ දඬුවමුත් බොහෝවිට ඒ වගේ; නීතිය ඉදිරියේ සමාන කොටස් කාරයෝ! ඒ කියන්නේ මගේ විසඳුම අදාළ මුදලින් දඩ ගහන තීන්දු වලට විතරයි”
ආයෙත් පොඩි නිහඬතාවයක්. ඔපිසර නිලමෙගෙ මොලේ වැඩ කරනවා, නිහඬ වී මෝලක් වගේ. නළල් රැලි වැටිලා. අන්තිමට කතා කරේ හරිම දුකෙන් වගේ.
“… ඔය තුන්දෙනා සමාව දෙන්න ඕන මේ කට හැකර නාකියට! මෙතෙක් වෙලා මං කියපු දේ පුස් අදහස් බව මට දැන් තේරෙනවා. සොරි… මගේ මෝඩ විසඳුම දඩ ගහන තීන්දු වලටත් වැඩ කරන්නෙ නැ. චමින්දට දඩ ගහපුවම ඒකෙන් දුකට පත්වෙන්නේ චමින්ද විතරක් නෙවෙයි - පවුලේ අනික් අය කෙලින්ම දුක් විඳිනවා; මුදලිනුත් මානසික වශයෙනුත්. කිසි වරදක් නොකරපු අයට අපි දඬුවම් දෙනවා. ඒකත් හරි නෑ!”
ඔපිසර නිලමෙගෙන් පොඩි හිනාවක්.
“අනික් අතට, අපෙ සාකච්ඡාවෙන් අපි බොහොම වටිනා දේ ඉගෙන ගත්තා! අදහසක් කපලා කොටලා, කෑල්ලෙන් කෑල්ල විග්රහ කරනකොට තමා අපේම සිතිවිලි වලත් ඇත්ත නැත්ත සොයාගන්න පුළුවන් වෙන්නේ. තමාගෙ අදහස් වගේම අනික් අයගෙ අදහසුත් විග්රහ කරලා බලන්න ඕනෑ ඇත්ත/නැත්ත හඳුන ගන්න. බුදුහාමුදුරුවොත් එහෙම කියලා තියෙනවා…”
“මං කියන්නේ… කවුරුත් යමක් කියපු පලියට ඒක විශ්වාස කරන්නවත්, ඒ වෙනුවෙන් තර්ක කරලා ඒක ආරක්ෂා කරන්නවත් කිසි අවශ්යතාවයක් නෑ. යම් අදහසකට පක්ෂව හෝ විපක්ෂව කතා කරන්න ඉස්සර අපි ඒක සම්පූර්ණෙන්ම තේරුම් අරගෙන ඉන්න ඕනෑ. මම මේක විශේෂයෙන්ම කියන්නේ උපුල්ට - ලෝකේ තේරුම් ගන්න පුළුවන් ඇත්ත ඇති හැටියට දැක්කොත් විතරයි… ඒ කියන්නේ… අනික් අයගෙ හරි/වැරැදියි අපේ හරි/වැරදියි මනින්න ඕනෑ එකම මිම්මෙන්… වැරැදි තේරුම් නොගෙන දඬුවම් ගැන හිතලා වැඩක් නෑ දරුවා!”
මට ඒ වෙලාවේ හිතුනා අම්මා පටන්ගත්ත කතාව ඔපිසර නිලමේ තමාට ඕන විදිහට මෙහෙයවුවේ මේ අවසාන කතාවට මග පාදන්න බව.